පොත් කියවන්නන් ඇතුළත් සමාජ මාධ්‍ය සමූහ තුළ වැඩි වශයෙන් ම දැක තිබූ කෘතියක් වුවද, මෙය කියවා බලන්නට මා හට අවකාශයක් ලැබුණේ පසුගිය දිනෙකදීය. අතිශය සරල, සිත් ඇදගන්නාසුලු බස් වහරකින් ලියැවී තිබුණද කෘතියේ මුල් භාගය මා කියවාගෙන ගියේ තරමක් නොපැහැදුණු සිතකිනි. එනමුත්, කතාවට සැබැවින් ම ප්‍රවිශ්ට වීමෙන් පසුව එය කෙතරම් අපූරු වියමනක්දැයි මා හට නොසිතා ඉන්නට බැරි විය.
සත්‍යය නොදන්නා, එසේම එය දැනගැනීමටද කිසිදු උවමනාවක් නොමැත්තන් හට එය පැහැදිලි කර දීමට උත්සාහ කිරීමෙන් පළක් නොවනා බව මම ඉන් උගත්තෙමි. ඔවුන් එය පිළිගත්තද, නොපිළිගත්තද එම සදාතනික සත්‍යය සදාකල් විශ්වයේ රැඳී පවතිනු ඇති බව මම උගත්තෙමි. කෑගසා බෙරිහන්දී විරුද්ධත්වය පළ කර සිටින්නට විටෙක සිතට නැගෙනා ආවේගය මඳ සිනහවකින් දරා සිටීමේ අපූර්වත්වය මම උගත්තෙමි.
මව්පියන් ලබනා ඉහළම සැනසීමද, දරුණුම වේදනාවද ලබන්නේ දරුවන් නිසා ම බවට පෙරදී අසා තිබූ කියමනක සත්‍යතාව නැවතත් පසක් කරගතිමි.
ඡේද ගණන් ලියා විස්තර කළ හැකි සිදුවීම්, සරල වදන් කිහිපයකින් හදවත පතුළටම කිඳා බැස්වීමේ ආශ්චර්යය අත්වින්දෙමි.
එහි එන සෑම චරිතයක්ම එම අකුරු හරහා කියවන්නාගේ සිත තුළ ජීවමානව මැවී පෙනීම නොවැළැක්විය හැකි මායාවකි. ඒ සෑම චරිතයක් ගැන ම කතා කරන්නට බොහෝ දේ ඇත. නමුත් වීරප්පුලි හේනයා ගැන, කුල බේදය හමුවේ අහේතුකව පීඩාවට පත් ඒ 'මහා' මනුෂ්‍යයා ගැන, කතා කරන්නට මා දන්නා වදන් ප්‍රමාණවත් වනු ඇතැයි මට සිතෙන්නේ නැත. පොත කියවා දින ගණනක් ගෙවී ගොස් ඇතත් මා තවමත් ඔහුගේ බෝ පැළය පාමුල ය. ඒ අපූරු වූ සුවඳින් පිරී ගිය සිත තවමත් ඒ කතාන්දරය තුළ ය.
එය සැබැවින් ම, ලබා ඇති සාහිත්‍ය සම්මාන, ජනතා සම්මාන සියල්ලට ම ඉහලින් ම සුදුසුකම් සපුරාලූ නිර්මාණයක් ම ය.