සැබවින් ම අප්‍රසන්න කතාවකි. කතානායක තම අනෝ විකාර, අසංඝත දර්ශන වල සිරකරුවෙකි. ඔහු ගේ දර්ශනය ඔහු ව කෙතෙරම් පරාජිතයෙකු කරයි ද කිවහොත් ඔහු තම බිරිඳගේ උවමනාවන් ට අන්ධය. තමන්ගේ දර්ශනය හා සාම්ප්‍රදායික සිතුම් පැතුම් අතර දෝළනය වන හේ, ඔහු ට අවශ්‍ය දේ ද ලබා ගැනීමට අසමත් ය. කතුවරයා සිරිපාල නම් චරිතය හරහා කියාපෑමට උත්සාහ දරණ කාරණයක් ඇත. අපි ඊට යොමු වෙමු.
තුන්වෙනි මුද්‍රණයට කතුවරයා ලියූ පෙරවදනේ මෙසේ සඳහන් වේ, "... අධ්‍යාපනයෙන් මෙන්ම අපේක්ෂාවන්ගෙන් ද ගමටවත්, නගරයටවත්, නැති චරිතයක් බිහි කරයි. ඔහුගේ අදහස් උදහස් මෙන්ම හැඟීම් ද, දේශීය හෝ විදේශීය හරවත් සංස්තියකට අනුව ජීර්ණ වූ ඒවා නොවේ." මෙම අදහස පෙන්වීමේ අරුතින් මේ නවකතාව ලියැවී ඇති බව පැහැදිලිය. ඒ අරුතෙන් ගත් කල කතුවරයා තම අභිලාෂයන් මුදුන් පත් කරගත්තා විය හැකිය. එහෙත් මෙය කියවීමට ප්‍රිය නූපදවන රස හීන කථාවක් ලෙස හැඟිණි. මෙය ව්‍යාකූල මනසකින් යුක්ත වූවෙකු, තම මනසේ ව්‍යාකූලත්වය ප්‍රකට කරන ආරේ නවාකතාවකි. එම නිසා මෙය කියවීම එතරම් පහසු නැත.
මෙහි තැනෙක මෙසේ කියයි.
"ඇත්ත වශයෙන් වූ දේවදත්තයා බුදුන් කෙරෙහි පැවති දේවදත්ත ස්වරූපය සංකේතයට නඟා පෙන්වීම පිණිස ඔවුන් විසින් මවන ලද්දෙකැයි නොපිළිගත යුතු ද ?" ( 203 පිටුව)
පුවත් පත් ආදියෙහි සාකච්ඡා ආදියෙන් අප තේරුම්ගෙන ඇත්තේ ජයතිලකයෝ පුණර්ජන්මය කෙරෙහි විශ්වාසයක් නැති බවකි. ඒ අනුව පෙර කියූ අදහස ට අමතරව ධර්මය පිළිබඳ තම ආස්ථානයන් ද මෙම කෘතියට පැමිණ ඇතැයි සිතිය හැක.