Far-Off Things by R L Spittle (1933)
පරිවර්තනය - ලක්බිමේ තවත් යුගයක් - ප්‍රේමචන්ද්‍ර අල්විස් (1997)
කතුවරයා විසින් ලංකාවේ ඉතිහාසය, වැද්දන්, අහිකුන්ටකයන්, පනික්කියන් (අලි අල්ලන්නන්), දඩයම් කරුවන්, මඩුවන්වෙල දිසාවේ, පක්ෂීන්, නාගයන්, සහ ලංකාවේ ලස්සන තැන් සවිස්තරාත්මක ලෙසට ඉදිරිපත් කර ඇත.
මෙම පොත ලියන සමයේ ලංකාවේ දඩයම් කිරීම, වන අලි අල්ලාගැනීම සහ විකිණීම නීතියෙන් තහනම්ව නොතිබිණ. දඩයමේ යාම විදේශික පාලකයන්ගේ සහ නාගරික ධනපති පන්තියේ විනෝදාංශයක් වී තිබුණි. තුවක්කු රැගෙන දඩයමේ යන පිරිසේ කුඩාරම් ඔසවාගෙන යාමට සහ මාර්ග උපදේශනයට ගම්මුන් සහ වැද්දන් උපකාර විය. විදේශීය පාලන සමයේ සිදුවූ මෙම ක්‍රියාවලිය නිසා අපරටේ වන ජීවින් බොහොමයක් වඳවී ගියහ.
වන අලි අල්ලන පනික්කියන් බොහොමයක් මුස්ලිම් ජාතිකයන් වුහ. උස අඩි 8 ඉක්මවූ අලි හිලෑ කර වැඩට පුරුදුකිරීම දුෂ්කර විය. අඩි 4 ට අඩු උස අලි ඇල්ලීම රජයෙන් තහනම් කර තිබුණි. මේබැවින් පනික්කියන් සිත්ගත්තේ අඩි 6 පමණ උස අලි ඇල්ලිමටය.
වන අලි ඇල්ලීමේදී මුව සමින් සදනලද අලිමන්ද අලියාගේ පසු පාදයට හසුකර මන්දේ අනෙක් කෙළවර ශක්තිමත් ගසක හෝ ගෝන අං තට්ටුවක ගැටගසනු ලබයි.
අලියකුගේ මිල නියමකරනුයේ උගේ උසින් රියනක් රුපියල් 100 බැගින් ගණන් බැලීමෙනි. සාමාන්‍යයෙන් අලියෙකුගේ මිල රුපියල් 500 පමනද හොඳින් වැඩුන අලියකුගේ මිල රුපියල් 3000 පමණද විය.
වන අලි ඇල්ලීමේදී මහ කැලය මැද අලි රෑනක් සති කිහිපයක් තිස්සේ වටලා ඔවුන් බිය වද්දා සවිමත් දඬු වැටකින් වටවුණු ගාල් තුලට පලවා හරිනු ලබයි. ගාල් තුලට රිංගා යාමේදී අලි රංචුව තුල ඇතිවන තෙරපීම හේතු කොටගෙන අලි පැටව් මෙන්ම වයස්ගත අලිද බොහොමයක් මිය යති.
මඩුවන්වෙල දිසාවේ කතුවරයාගේ සමීප මිතුරෙකු විය. මඩුවන්වල වලව්වේ ඇති වටිනා භාණ්ඩ කන්ද උඩරට අන්තිම රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ නරපතියාගේ මාලිගයෙන් පැහැරගන්නා ලද භාණ්ඩ ලෙසට රාවයක් පැවතින. එසේ කොල්ලාකනලද වස්තු සම්භාරයෙන් කොටසක් තම්බි මුදියන්සේ අතටද පත්ව ඇත. ශ්‍රී වික්‍රම රාජසිංහ අල්වාගැනීමට බ්‍රිතාන්‍යයන්ට උදව් කල එක්නැලිගොඩ නිලමේ මඩුවන්වෙල දිසාවේගේ මයිලනුවකු ලෙසට හඳුන්වා දී ඇත.
මඩුවන්වෙල දිසාවේ සතු ඉඩම් ප්‍රමාණය අක්කර 80,000 ක් පමණ වූ අතර එහි කුලී නිවැසියන් 30,000 පමණ විසුහ. පනාමුරේ ඇත්ගාල මඩුවන්වෙල දිසාවේ විසින් පවත්වාගෙන යන්නක් විය.
කතුවරයා උලමා ගැන විස්තරයක් පොතෙහි අඩංගු කර ඇත. ඉතා මුසල හඬක් ඇති උලමා හෙවත් යක් කුරුල්ලාගේ නාදය දරුණු වද හිංසාවට ලක්වන පිරිමි ළමයකුගෙන් නගන මර ලතොනියක් ඔහුගේ ගෙල සිරකර නතර කිරීමකට සමකර ඇත. කතුවරයාට අනුව උලමා බස්සකු නොව කරමලක් සහිත උකුස්සෙකි.
විශාල පක්ෂියකු වන උලමාගේ ලය පෙදෙසේ පෙඳ වල වයිරම් වැටී ඇත. 1930 සිට ගතවූ වසර 12-15 කාලය තුල මෙම වර්ගයේ බස්සන් උඩරට වනාන්තර වලින් සම්පුර්ණයෙන් අතුරුදහන් වී ඇත.